Friday, April 8, 2016

බලය කෙසේ භාවිත කළ යුතු යන්න පිළිබඳ සියළු දේශලානඥයින් අවධානයෙන් කටයුතු කළ යුතු බව ජනපති පවසයි.


ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක ජනතාව විසින් නායකත්වයට සහ පක්‍ෂයට ලබාදෙන බලය කෙසේ භාවිත කළ යුතු ද ඒ තුළ තමන්ට හිමිවන ස්ථානය කුමක්ද යන්න පිළිබඳ දේශපාලනඥයින් අවධානයෙන් කටයුතු කළයුතු බව ජනාධිපතිවරයා පවසයි. 

ජනතාව ලබාදෙන බලය තම පවුල ශක්තිමත් කර ගැනීමට හෝ දේශපාලන බලය වැඩි කර ගැනීමට භාවිතා නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ පැවති දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ඡන්ම ශත වර්ෂ සැමරුම් උළෙලට එක්වෙමිනි. 

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කිසිදිනෙක බලය අනිසි ලෙස භාවිතා නොකළ අතර වංචාවට, දුෂණයට සහ අක්‍රමිකතාවය සම්පුර්ණයෙන් පිටුදකමින් කටයුතු කළ බව හෙතෙම පැවසිය.

එතමිය තුළ ඉවසීම, කැපවීම, අවංකභාවය සහ අභියෝග හමුවේ නොසැළි ඉදිරියට යාමේ විශිෂ්ඨ ගුණාංග වත්මන් දේශපාලන ක්‍ෂේත්‍රයේ සියලූදෙනාට මහඟු ආදර්ශයක් වන අතර එය භාවිතය අද දවසේ අත්‍යවශ්‍යව පවතින බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. 

බණ්ඩාරනායක මැතිණිය රටට ඉටු කළ ෙඓතිහාසිකා කාර්යභාරය එම යුගවල අවශ්‍යතාවය අනුව මෙන්ම අන්තර්ජාතික වශයෙන් මහා වැදගත්කමක් ගන්නා බව මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. 

රටේ ඇතිවු දේශාපලන ප්‍රශ්නවලදී රට සහ පක්‍ෂය වෙනුවෙන් එතුමියගේ දෑසේ කදුළු නැගුණු අවස්ථා තම දේශපාලන අත්දැකීම් අතර තිබෙන බව ද හෙතෙම කියා සිටි. 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස කටයුතු කිරිමේ දී අංක එක හිමිවන්නේ රට සහ ජනතාව වෙනුවෙන් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

Google Plus Facebook Twitter Delicious