Thursday, April 7, 2016

ගොවීන්ගේ යහපත උදෙසා ජාතික ගොවි ව්‍යවස්ථාපිත මණ්ඩලයක් පිහිටුවීමට ජනපතිගෙන් සැලසුම්.


පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනාවක් අනුව නව ජාතික ගොවි ව්‍යවස්ථාපිත මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


ජනාධිපතිවරයා සඳහන් කළේ වාර්ෂික අයවැය සැකසීමේ දී හා කෘෂිකර්මාන්තයට අදාළ තීන්දු තීරණ ගැනීමේ දී ගොවි ජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම එහි අරමුණ බවයි.


සෑම දිස්ත්‍රික්කයකම ගොවි සංවිධාන නියෝජනය වන පරිදි එම ව්‍යවස්ථාපිත මණ්ඩලය පිහිටුවීමට නියමිතය.


ජනාධිපතිවරයා සඳහන් කළේ මහා භාණ්ඩාගාරය, කෘෂිකර්ම, වාරිමාර්ග මෙන්ම මහවැලි සංවර්ධන අමාත්‍යංශවල නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් සෑම මාස හයකට වරක්ම එම ව්‍යවස්ථාපිත මණ්ඩලය රැස් කරන බවයි.


එහි දී වී මිල දී ගැනීම, පොහොර සහනාධාරය මෙන්ම කෘෂි ආම්පන්න ලබා ගැනීම, වෙළඳපොල ආදී සියලූ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නියමිතය.


එම තීන්දු තීරණ පසුව කිසිවෙකුට වෙනස් කළ නොහැකි අතර අනිවාරයෙන් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් ලෙස නීතිගත කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.


මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික වාරි ගොවි සමුළුවට ඊයේ පස්වරුවේ එක්වෙමිනි.

"ගොවි මුළුවයි - ජන සුවයයි" තේමාව යටතේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය විසින් මෙම ගොවි සමුළුව සංවිධාන කර තිබිණි.

Google Plus Facebook Twitter Delicious