Friday, April 8, 2016

චීනය සහ ශ්‍රී ලංකා රජය විශේෂ ගිවිසුම් කිහිපයකට අත්සන් තබයි.


චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා රජය අතර විශේෂ ගිවිසුම් කිහිපයකට අත්සන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන අග්‍රාමාත්‍ය ලී ක චියාන් මහතා චීන මහජන මහා ශාලාවේ දී මෙම ගිවිසුම් අත්සන් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. 

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීම,  වකුගඩු රෝග පරික්‍ෂා කිරිමේ ජංගම රථ සඳහා ගිවිසුම, චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර අවබෝධතා ගිවිසුම ඇතුළු ගිවිසුම් හතකට අත්සන් කර තිබේ. 

මීට අමතරව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය සමගින් නිරූපනය වන ශ්‍රී ලංකා - චීන මිත්‍රත්වය පදනම් කර ගනිමින් චීන යුවාන් මිලියන 500 ක ප්‍රදානයක්ද ශ්‍රී ලංකාවට පිරිනැමීමට තීරණය කළ බව චීන අග්‍රාමාත්‍ය ලීක චියාන් ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. 

හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේ දෙවන අදයර සඳහා චීන රජයේ පුර්ණ සහාය හිමිවන බව ඔහු ප්‍රකාශ කර තිබේ. 

මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකා සංචාරයක නිරත වන ලෙස ආරාධනා කළ අතර ඔහු ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව දැනුම් දී ඇත. 

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජංඩ ජියෑන් මහතා සමඟ ඊයේ ද්විපාර්ශවික සාකච්ඡාවක නිරත විය. 

ඉදිරි වසර විස්ස තුල ලොව ආර්ථික බලවතා වීමේ හැකියාව සහ අවස්ථාව ආසියානු කලාපය සතුව ඇති බව එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.
ඒ අනුව චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. 

තුන් දන නිල සංචාරයකට එක්ව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂි ජිං පින් අතර නිල ද්විපාර්ශවික සාකච්ඡා අද පැවැත්වීමට නියමිතය.

Google Plus Facebook Twitter Delicious