Tuesday, June 7, 2016

"සාලාව යුද හමුදා කඳවුරේ" පිපිරිම සම්බන්ධව සොයා බැලීමට ත‍්‍රිවිධ හමුදා මුලික පරික්‍ෂණ මණ්ඩලයක්.


කොස්ගම සාලාව යුද හමුදා කඳවුරු සංකිර්ණයේ පිහිටි අවි ගබඩාව පිපිරිම සම්බන්ධව සොයා බැලීම සඳහා ත‍්‍රිවිධ හමුදා මුලික පරික්‍ෂණ මණ්ඩලයක් පත් කරන බව ආරක්‍ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චි මහතා පවසයි. 

පරික්‍ෂණ මණ්ඩලයට අමතරව සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු රහස් පොලිසිය විසින් සිදුකරන බව ද හෙතෙම සඳහන් කළේය. 

පිපිරීම හට ගැනීමට හේතුව සෙවීමට රස පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ද පුළුල් පරික්‍ෂණ පවත්වන අතර මහේස්ත‍්‍රාත් පරික්‍ෂණයක් ද පැවැත්වෙනු ඇත. 

සියළු පරික්‍ෂණ කටයුතු සඳහා පොලිසියේ සහාය ද ලබාදෙන බව ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේය. 

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති ආරක්‍ෂක මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණයන්ට අනුව මෙම පියවර ගෙන තිබේ.

එහිදි ජනාධිපතිවරයා දුන් උපදෙස් මත ත‍්‍රිවිධ හමුදා අවි ගබඩාවල ඉදිරියේ දී මෙවැනි හදිසි පිපිරිම් සිදු නොවන අයුරින් ආරක්‍ෂක කටයුතු තර කිරිමට පියවර ගන්නා බව ඒ මහතා කියා සිටියේය.

සිද්ධියෙන් ආපදාවට පත් ප‍්‍රදේශවාසී ජනතාවට වන්දි ලබාදීමට සහ හානිවු නිවාස පිළිසකර කර දීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. 

සාලාව හමුදා කදවුරේ ගින්න හේතුවෙන් අර්ධ හානි හා පූර්ණ හානි සිදුවූ නිවාස යළි ඉදිකරදීමට පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද ප‍්‍රකාශ කළේය. 

අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ කොස්ගම ප‍්‍රදේශයේ සංචාරයක නිරතවූ අවස්ථාවේදීයි.

සිදුව ඇති හානි පිළිබදව සම්පූර්ණ වාර්තාවක් තමන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස ද අග‍්‍රාමාත්‍යවරයා සීතාවක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. 


Google Plus Facebook Twitter Delicious