Monday, June 6, 2016

කොස්ගම "සාලාව" යුද හමුදා කඳවුරේ තවදුරටත් සුළු පිපිරීම්.


කොස්ගම "සාලාව" යුද හමුදා කඳවුරේ තවදුරටත් සුළු පිපිරීම් සිදු වෙමින් පවතින බව යුද හමුදාව පවසයි.

අප කළ විමසුමක දී යුද හමුදා මාධ්‍ය කේන්ද්‍රය සඳහන් කළේ කඳවුරේ හටගත් ගින්න මේ වනවිට බොහෝ දුරට පාලනය කර ඇති බවයි.

ගින්න සමග ඇති වූ පිපිරිම් හේතුවෙන් තුවාල ලැබූ එක් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

තුවාල ලැබූ සෙබලා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අවිස්සාවෙල්ල රෝහලට ඇතුළත් කර ඇත.

පිපිරීම හේතුවෙන් අවට ප‍්‍රදේශවල ජනතාවට ස්වසන අපහසුතා ඇති වීමට ඉඩ ඇති බැවින් එම ප‍්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා උපදෙස් ලබා දී ඇත.

ජල මූලාශ‍්‍රවල විස ද්‍රව්‍ය එකතුවිය හැකි බැවින් ඒ පිළිබඳ ද සැලකිලිමත් වන්නැයි ඔහු ප‍්‍රකාශ කර තිබේ.

සෞඛ්‍ය පිළිබඳ තොරතුරු අවශ්‍ය නම් 0113 071 073 දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගත හැකියි.

ගින්න නිවීම සඳහා ආරක්ෂ අංශවලට එම ස්ථානයට ඇතුළු වීමට හැකියාව ලැබී ඇත්තේ ගින්නෙන් පැය හතර හමාරකට පමණ පසුව බව වාර්තා වෙයි.

මෙම අවස්ථාවේ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ද කටකථා පැතිරවීමෙන් වළකින ලෙස ද පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර අවිස්සාවේල්ල මැතිවරණ බල ප‍්‍රදේශයේ සියලූ පාසල් සහ රාජ්‍ය ආයතන සඳහා අද නිවාඩු ලබා දීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇත.

හමුදා කඳවුරේ ගින්න සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපතිවාරයා නියෝග කර තිබේ.


Google Plus Facebook Twitter Delicious